අවුරුද්ද & මාසය |
|
දින ගණන
(# days) |
|
පුද්ගලයන් (Crew) |
05
|
නවාතැන් (Accommodation) |
|
ප්රවාහන (Transport) |
|
|
|
කාලගුණය (Weather) |
|
මාර්ගය (Route) |
කොළඹ / වේයන්ගොඩ
-> පිළිමතලාව -> දන්තුරේ -> මැණික්දිවෙල -> පොත්තෙපිටිය
-> අලගල්ල තේ කම්හල-> අලගල්ල ශිඛරය ආපසු ගමන : තේ කම්හල ->දෙකින්ද ඇල්ල -> පොත්තෙපිටිය-> කඩුගන්නාව ->කොළඹ |
විශේෂ කරුණු (Tips, Notes and Special remarks) |
• බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්. • වර්ෂා කාලයකදී නම් කුඩල්ලන් සදහා සුදුසු ප්රතිකාර රැගෙනයාම වැදගත් . • මන්නා තෘණ සහිත ප්රදේශයක් තරණය කිරීමට ඇති බැවින් ශරීරය වැසෙන ඇදුමක් ඇඳසිටීම වැදගත් . • අලගල්ල පර්වතයෙහි අවසාන ශිඛරය තරණය කිරීම තරමක අවදානම් කටයුත්තක් වන බැවින් ඒ සදහා ඔබගේ යෝග්යතාවය ගැන සැලකිලිමත්වීම වැදගත්. • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන
එන්න.
|
වේලාව
උදැසන නමයත් පහුවෙලා ගමන ආරම්භයේදීම සිද්ද වෙච්ච ප්රමාදය නිසාම කට පියාගෙන රථය ධාවනය කළාට, හිස්වෙලා තිබ්බ කුසට නම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඒ නිසාමදෝ කෑගල්ල නගරයට සෙන්න්දුවෙන්න මොහොතකට කලින් වේගය බාලවුන ජීප් රථය; දේශීය සංචාරකයන් අතර බොහොම ජනප්රිය අඹසෙවන භෝජනාගාරය ඉදිරියෙන් ඉබේම නතර වුණා.
අපව බලාපොරොත්තුවෙන් අපේ ගමන් සගයෙක් පිලිමතලාවට වෙලා බලාගෙන හිටියා. ඒ නිසාම හැකි ඉක්මනින් බඩට මොකුත් දාගෙන ගමන ආරම්භ කරන්න තමයි නඩේ ගුරාගේ අදහස. සාමාන්යයෙන් මේ වගේ චාරිකා වලදී ඊළඟ කෑම වේල කොයි වෙලාවේ ගන්න ලැබේද කියල විශ්වාසයක් නැති නිසා; ලෝකේ තියෙන අන්තිම කෑම වේල කියල හිතාගෙන අපේ කට්ටිය පාතරාසය බුක්ති වින්දේ බිල්පත අරගෙන එන්න බලාගෙන උන්න වේටරයාව තව තවත් අන්ද මන්ද කරමිනුයි.
මැසිවිලි නොනගා පිළිමතලාවේදී විවෘත ජීප් රියට එකතුවුණ ධනුෂ්ක ඒ වනවිට බොහෝ වෙලාවක් අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉඳලා තිබුණා. කොහොම කොහොම හරි දන්තුරේ සහ මැණික්දිවෙල හරහා අලගල්ලට දිවෙන එම වංගු සහිත පටු මාර්ගයේ කිලෝමීටර කිහිපයක් තරණය කල අපට; අහස උසට නැගි අලගල්ල කන්ද දිස්වුනේ සුන්දර සිත්තමක් විදිහටය
කියල කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි. මාර්ගයේ තත්වය ඉස්තරම් නොවුනත් කාරයකට උනත් එය විශාල අභියෝගයක් ඇතිකළේ නැහැ.
අහස උසට නැගි අලගල්ල කන්ද දිස්වුනේ සුන්දර සිත්තමක් විදිහටය
|
අලගල්ල තේ කරමාන්ත ශාලාව අසල තුන්මන්සලේදී දකුණට හරවන ලද ජීප් රථය තේ වත්තේ තිබු ගුරුපාර ඔස්සේ ඉදිරියට ඇදුනා. කිලෝමීටරයකට ආසන්න දුරකදී හමුවූ දෙවැනි තුන්මන්සලේදී වම්පසට හරවන ලද ජීප් රථයට මීටර 200 ක් වත් සාමාන්‍ය පරිද්දෙන් ගමන් කරන්න හැකිවුණේ නැහැ. මාර්ගය අවසන් වූ බවක් තමයි පෙනෙන්නට තිබුනේ. එත් විමසිල්ලෙන් බලද්දී පාරක සලකුණු ඇතිබවත්
වසර ගණනකින්
එම මාර්ගයේ කිසිදු වාහනයක් (අඩුම තරමින් ට්රැක්ටරයක්වත්) ගිහින් තිබ්බේ නැති බවත් අපට පැහැදිලි වුණා. තත්වය එහෙම වුනත් වෙන දෙයක් වෙද්දෙන් කියලා ජීප් රථය ඉදිරියට පදවන්න අප තීරණය කලේ මාර්ගයේ සලකුණු තිබේනම් වාහනය හරවාගන්නත් පහසුකමක් ඉදිරියේ තිබියයුතුය කියන විස්වාසය ඇතුවයි.
අලගල්ල; අලගල්ල තේ කරමාන්ත ශාලාව අසලදී
|
අලගල්ල තේ වත්තේ අවසන් මායිම අසල
|
කොහොම කොහොම හරි ඉබිගමනින් ඉදිරියට ඇදුන ජීප් රථය අලගල්ල තේ වත්තේ අවසන් මායිමට මීටර් කිහිපයක් ඉදිරියෙන් මග අහුරා සිටි යෝධ ගල්කුලක්
විසින් නවතනු ලැබුවා. එතැන් සිට කඳුතරණය සදහා උචිත ඇඳුමකට මාරු වූ අප සබරගමුව සහ මධ්යම පළාත් එකිනෙකින් වෙන්කරන අලගල්ල යෝධයා තරණය කිරීම සදහා වන වදුලට වැදුණා.
ජීප් රථයේ හැකියාවනට පින්සිදු වෙන්නට කන්දේ වනගහනය ආරම්භවන සත්‍ය පාදම අසලින්ම අපගේ පාගමන ආරම්භ කිරීමට හැකිවීමනිසා උදැසන සිදුවූ ප්රමාදය ආවරණය කරගත හැකිවීම අපට මහත් අස්වැසිල්ලක් වුණා
ආරම්භක ස්ථානයේ සිට මිනිත්තු 20 ක් පමණ යනතුරුම සීග්‍ර නැග්මක් සහිත කොටසක් තරණය කිරීමට සිදුවුවත් සරුවට වැඩුන වනගහනය විසින් අපව චණ්ඩ හිරුරැසින් ගලවාගනු ලැබුවා.
වනගහනයෙන් අනතුරුව අප ළඟාවූයේ මානා තෘණ වලින් සහ අතරින් පතර
තනි තනිව පිහිටි නොඋස් කාෂ්ඨ ශාක සහිත විවෘත
ප්රදේශයකටයි. අලගල්ල තරණයේදී හමුවන පළමු මානා තීරුව වන්නේ මෙයයි. එක පෙලට තාප්පයක ආකාරයට විහිදුන ගල් කුළු ශ්රේනියකින් මෙම මානා තීරුව අවසන් වන අතර එම ගල් වැටියෙහි නොඋස් තැනක පිහිටි කපොල්ලකින්
දෙවන මානා තීරුව වෙත අඩිපාර ගමන්කර තිබුණා.
අලගල්ල තරඟයේදී හමුවන පළමු මානා තීරුව වන්නේ මෙයයි
|
එම ගල් වැටියෙහි නොඋස් තැනක පිහිටි කපොල්ලකින්
දෙවන මන්නා තීරුව වෙත අඩිපාර ගමන්කර තිබුණා
|
තබන හැම පියවරක් පාසාම අවට දර්ශනයෙහි සොඳුරු බව වැඩිවුනත් මධ්යහ්න චණ්ඩ හිරුරැස් අපව දැඩිලෙස පිඩාවට පත්කලා. දෙවන මානා තීරුවෙහි අතරින් පතර හෝ සෙවනක් ලබාදියහැකි තරමේ උසකින් යුතු ගස් කිසිවක් නොවූ නිසාම සුර්යාගේ අණසකට යටත් වන්නට අපටත් සිදුවුණා. එහි ප්රතිඵලය උනේ අපගේ ජල සංචිතයෙන් වැඩි ප්රමාණයක්
වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් අපට අහිමිවීමයි.
දෙවන මානා තීරුව දල බැවුමකින් අවසන් වුණත්; එම බැවුම අද්දරම අලගල්ල කන්දෙහි උසම ස්ථානය දරණ
ශෛලමය ශිඛරය මහත් තේජසින් අහස සිසාරා නැගී සිටියා. සුළගේ රිද්මයට අලගල්ල ශිඛර මස්තකයෙහි ලෙලදෙමින් තිබු බෞද්ධ කොඩිය; මෑතකදී මෙහි පැමිණි ගම්වැසියන්ගේ ක්රියාකාරකමක් විදිහටයි අපට නම් පෙනුනේ.
අලගල්ල කන්දෙහි උසම ස්ථානය දරණ
ශෛලමය ශිඛරය - හොදින් බැලුවොත් පුංචි තිතක් වගේ බෞද්ධ කොඩිය පෙනේවි
|
|
ඔය පහල “තිස්මඩ“ කියලා අකුරු වගයක් ලියලා තියෙන
ගල් බිත්තිය දිගේ තමයි නගින්න තියෙන්නේ
|
වර්ෂයේ වැඩිකාලයක් කැලයෙන් වැසී පවතින; අලගල්ල ශිඛරය දක්වා දිවෙන මෙම අඩිපාර සෑම පෙබරවාරි මාසයකම මුල් දින කිහිපයේදී අවට ගම්වැසියන් විසින් හෙළි පෙහෙළි කරනු ලබනවා. ඒ නිදහස ලබපු දිනේ පටන් අඛණ්ඩව මේ දක්වාම
ලංකාවේ පැවැත්වෙන එකම රාජ්‍ය අනුග්රහය නොලබන නිදහස් උත්සවය පැවැත්වීම සදහායි. බොහෝදෙනෙක් කියන විදිහට පෙබරවාරි 4 දාට දහස් ගණනක් නිදහස වෙනුවෙන් අලගල්ල තරණයට එක්වෙනවා. අද දින අලගල්ල තරණයට එක්වුණ අපේ කණ්ඩායමත් මේ පසුගිය පෙබරවාරි 4 දා මේ කටයුත්තට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත්, පැවැති වැසී සහිත කාලගුණය අපේ අදහස මේ දක්වා කල් දමන්නට කරුණු කාරණා සැපයුවා.
කොහොම උනත් නිදහස් දින අලගල්ල තරණය කිරීමේ පුරුද්ද ඇතිවෙච්ච ආකාරය ගැන ටිකක් අමුතු ආකාරයේ පැහැදිලි කිරීමක් අන්තර්ජාලයේ සැරිසරද්දී මට හම්බුනා. මේ සිංහල බ්ලොග් ඒක ලියල තිබ්බේ තිලක් සේනසිංහ කියල කෙනෙක් . තිලක් ඔබටත් ස්තුතියි මෙවන් සැඟවුන රසමුසු පුවතක් දැනගන්න ඉඩ සලස්වපු ඒක ගැන. හැමෝගෙම දැනගැනීමට ඒක ඒ කියල තිබ්බ විදිහටම මම මෙහි පලකරන්නම්.
ඒ ගැන සහ ඒ අවට ප්රදේශයෙහි ඉතිහාසගත තොරතුරු ගැන
වැඩි විස්තර බලාගන්න අවශ්‍ය නම් මෙතන කොටන්න.
“ඔය අලගල්ල කන්දේ කොටසක් අයිති හතරලියද්ද පළාත ඉස්සර ප්රසිද්ධ වුණේ තුම්පනේ කියලා.ඒ වෙනකොට තුම්පනේ කියන්නේ හුඟක්ම නොදියුණු පළාතක්.
කොහොම හරි 1948 පෙබරවාරි හතරවැනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන හාහෝව රට පුරාම පැතිරිලා යන අතරේ මෙහේ තුම්පනේ මිනිසුන් ඒක දැනගෙන.
ඒත් එදාට කොළඹ දී නිදහස ලැබෙනවා කියන දේ අහගෙන හිටියා මිසක් නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් දැන උගත්කමක් මේ පැත්තේ සමහර මිනිස්සුන්ට තිබිලා නැහැ.
ඒ නිසා ඒ කාලේ තුම්පනේ ගම්මු පිරිසක් ලංකාවට නිදහස ලැබෙන හැටි අහම්බෙන්වත් දැක බලාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න හතළිස් අටේ අවුරුද්දේ පෙබරවාරි හතවෙනිදා උදේ පාන්දරම අලගල්ලේ කන්දට නැගලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම කොළඹ පැත්ත බලාගෙන ඉඳලා තියනවා.
කොහොම හරි එදා හැන්දෑවේ ආපහු කන්දෙන් බහින ඒ මිනිස්සුන්ගෙන් වටපිටාවේ අය අහලා තියනවා හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද කියලා.
එතකොට තමයි කන්දට නැගපු අය කියලා තියෙන්නේ බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා අපි එහෙම නිදහසක් නම් අපේ උපන් හදවියකට දැකලා නැහැ කියලා.
ඒ මුල් ගුරුතුමා කියපු විදිහට නම් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඔන්න මේ පළාත්වල සමහරු නිදහස් දවසට අලගල්ල කන්ද නගින්න පුරුදු වෙලා තියෙන්නේ.
නමුත් පහුවෙනකොට ඒක ඉබේටම විනෝද කටයුත්තක් වෙලා."
එම ගුරුතුමිය කීයේ අපගේ මන දොල මනාව සපුරාලමිනි.”
http://railwayhike.blogspot.com/2010/09/blog-post_02.html
අලගල්ල කන්දෙහි උසම ස්ථානය දරණ
ශෛලමය ශිඛරය තරණය කිරීම පළපුරුදු අයෙකුට වුවද තරමක
අභියෝගයක් වන බව නොකියම බැහැ. ආනතව පවතින තරමක
සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැගීමෙන් අනතුරුව ගල් කුළු අතරින් තැනි කුඩා විවරයක් තුලින් උරගයකු විලසින් සිව්පයින් බඩගාමින් අලගල්ල ශිඛරය මුදුනට අප ලඟාවුණා.
ගල් කුළු අතරින් තැනි කුඩා විවරය තරණය කරන්නට කලින් මේ පින්තුරය ගත්තේ මගේ හිසට ඉහලින් කැමරාව එල්ල කරමිනුයි
|
“අත්ත බිඳෙයි - පය බුරුලෙන්……..”
|
පහලට කවර ආකාරයකට දිස්වුවත් අලගල්ල මුදුන සිය ගණනකට එකවර රැස්විය හැකි තරම් සුවිසල් ඉඩක පැතිරී තිබුණා. ප්රධාන ගල් තලාව අඩි දෙසියයක පමණ දුරකට විහිදී තිබුණ අතර ඊට යාවූ වන වදුලෙන් වැසීගිය කඳු කොටස කිලෝමීටරයක් පමණ දුරකට විහිදී තිබුණා. අවට මනස්කාන්ත දර්ශනය අපව කුල්මත් කල අතරම චණ්ඩ හිරුරැස් මැද
හිස් වූ ජල බෝතල
ආපසු ගමන ඉක්මන්කලයුතුබව අපට මතක් කර සිටියා.
“විජයග්රහණය”
|
අලගල්ල මුදුන සිය ගණනකට එකවර රැස්විය හැකි තරම් සුවිසල් ඉඩක පැතිරී තිබුණා
|
ඊට යාවූ වන වදුලෙන් වැසීගිය කඳු කොටස කිලෝමීටරයක් පමණ දුරකට විහිදී තිබුණා
|
ගමන කඩිනම්කිරීමේ අරමුණෙන් කඩිමුඩියේ ශිඛරයෙන් දෙවෙනි මානා තලාව වෙත
බට නඩේ ගුරාගේ අවසන් සිහි කැදවිමට අවනත වෙමින් මමත් ධනුෂ්කත් මේ සොඳුරු පාරාදීසයට සමු දුන්නේ වැඩි කැමැත්තකින් නම් නොවේ. පහලට බැසීම තරමක සීග්රගාමී එකක් වුවද හිස් වූ වතුර බෝතල් අප වෙත ඇතිකලේ අතිමහත්
පීඩනයක්. දිව ගිලෙනා තරම් දැඩි පිපාසාවකින් පීඩිතව අප ජීප් රථය වෙත දිවගියේ එහි පැවැති
අමතර වතුර බෝතලයෙන්
මද පමණකින් හෝ පවස සංසිදුවා ගැනීමේ අරමුණ ඇතිවයි.
දෙවෙනි මානා තලාව වෙත බට නඩේ ගුරාගේ අවසන් සිහි කැදවිම
|
මහත් පරිශ්රමයකින් පසු ප්රපාතයට නොවැටී ආපසු හරවාගත් ජීප් රථය; පැමිණි මග ඔස්සේම තේ කර්මාන්ත ශාලාව දක්වා ධාවනය වුණා. එතැන්සිට දෙකින්ද ඇල්ල සොයා ධාවනය වුන එය; කිලෝ මීටරයකට නොඅඩු දුරකදී
හමුවූ බෝ ගසක් අද්දර වූ තෙමන් සලක් අසල නවතනු ලැබුවා.
එම ස්ථානය අසලින් දෙකින්ද ඇල්ලට ජිවය දෙන දිය කදුර සුන්දරව ගලායමින් තිබුණා. දොළ පාරට සමාන්තරව දිවෙන අඩි පාරක් ඔස්සේ මීටර 500 කට නොඅඩු දුරක් ගමන් කිරීමෙන් අනතුරුව හමුවූ වියලි ගිය දිය පාරක් ඔස්සේ ගස් ගල් අල්ලමින් අඩි දෙසියයකට වැඩි දුරක් පහල බැසි අප නියගයට කෘෂවී ගියත් සිය අලංකාරය මුළුමනින්ම අත් නොහැරී ඒ ලලිනියගේ සොඳුරු රුව සියැසින් දැකීමේ භාග්යය ලැබුවා.
ආපසු හරවාගත් ජීප් රථය බෝ ගසක් අද්දර වූ තෙමන් සලක් අසල නවතනු ලැබුවා.
|
අලංකාරය මුළුමනින්ම අත් නොහැරී ඒ ලලිනිය - දෙකින්ද
ඇල්ල
|
No comments:
Post a Comment