Thursday, March 20, 2025

ලංකාවේ උසින් 9 වන ස්ථානය දරණ වන්-ට්‍රී-හිල් තරණය

 

අවුරුද්ද & මාසය

2010 නොවැ

දින ගණන (# days)

තුන්දින චාරිකාවක දෙවන දිනය

පුද්ගලයන් (Crew)

09

නවාතැන් (Accommodation)

ස්වදේශ කටයුතු සංචාරක බංගලාව - නුවරඑළිය

ප්රවාහන (Transport)

CJ5 සහ මරුති ජිප්සි ජීප් රථ යුගල

 

 

කාලගුණය (Weather)

යහපත්

මාර්ගය (Route)

නුවරඑලිය-> රේස්කෝස් -> වන්-ට්‍රී-හිල් 

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්  

(Tips, Notes and Special remarks)

 

  1. බිමට  ජලය  රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්.
  2. කදුමුදුනට ලගාවීම සදහා නුවරඑලිය-බදුල්ල මාර්ගයේ සිට කිලෝමීටර 1.5 ක පමණ දුරක් තරමක නැග්මක් සහිතව පටු මාර්ගයක් ඔස්සේ තරණය කිරීමට සිදුවේ. මාර්ගයේ තත්වය එතරම් යහපත් නොවන බැවින් ඔබේ ප්‍රවාහන මාධ්‍ය  කාර් රථයක් නම්, කුලී ත්‍රීරෝද රථයක් හෝ සුන්දර පාගමනක් ඔබට වඩාත් සුදුසුය.
  3. අකුණු සහිත කාලගුණයක් කදු තරණය සදහා උචිත නොවේ.
  4. ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු  රැගෙන එන්න.

 

 Author

 Viraj 


පිදුම, : සංචාරයට රුචි ඔබ  සැමට.

මේ සංචාරක සටහන කියවන ඔයගොල්ලන් අතරින් කීදෙනෙක් අපේ පුංචි එංගලන්තයට නැතිනම් වෙනත් විදිහකට කිව්වොත් නුවර එලියට ගිහින් තියෙනවාද කියලා මම ඇහුවොත්  ගිහින් තියෙනවා කියලා වැඩිදෙනෙකු පිලිතුරු දේවි. ඒත් ඒ අතරින් කී දෙනෙක් නුවර එලිය නගරය ආශ්‍රිත ප්‍රදේශය ඉහල ස්ථානයක ඉදලා දැකලා තියෙනවාද කියලා ඇහුවොත් ඊට ඔව් යනුවෙන් පිලිතුරුදියහැකි වනුයේ ඔබ අතුරින් ඉතාම සීමිත පිරිසකට පමණයි. එවැන්නෙකු ලංකාවේ උසින්ම පිහිටි ගම්මානය යනුවෙන් ප්‍රසිද්ධව ඇති ශාන්තිපුර ගම්මානයේ පිහිටි පලාත් පාලන ආයතනයට අයත් සුප්‍රසිද්ධ නැරඹුම් කුළුණේ සිට නුවරඑලිය නගරය නිරීක්ෂණය කල අයෙකු වියයුතුය. නැතිනම් හමුදාඅණ නොතකා හාවාඑලියේ සුප්‍රකට ලවර්ස්-ලීප් දියඇල්ල පාමුලටම ගමන්කල අයෙකු වියයුතුය. ඒත් කියන්න කණගාටුයි, මේ ස්ථාන දෙකන් කවර ස්ථානයකදීවත් ඔබට නගරයේ සම්පූර්ණ දර්ශණක් දැකගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒනිසා නඩේගුරාගේ මේ උත්සාහය, නුවර එලිය නගරය ආසන්නයෙන්ම පිහිටි, නගරයේ සම්පූර්ණ දර්ශණයක් bird’s eye view ලෙසින් දැකගන්නට හැකි, ඉතා පහසුවෙන් ලගාවියහැකි, ඔබ මෙන්ම රටේ බොහෝදෙනකු නොදන්නා සුන්දර සංචාරක ස්ථානයක් වෙත අද ඔබව රැගෙන යන්නටයි.

 

ලවර්ස්-ලීප් දියඇල්ල

 

ශාන්තිපුර ගම්මානයේ පිහිටි සුප්‍රසිද්ධ නැරඹුම් කුළුණ

 

 

  ගමන පටන්ගන්න කලින් මෙම ස්ථානය අපට හමුවීම හා සම්භන්ද නිධාන කථාව නොකීවොත් ඒකත් අඩුවක් වේවි කියලා හිතුන නිසා ඒක මුලින්ම කියලා හිටින්නම්.  ලංකාවේ උස අනුපිලිවෙලින් අංක 1 සිට 20 දක්වා වූ කදු සියල්ල තරණය කිරීමේ මහා උණක් අපේ නඩේගුරා කණ්ඩායමේ මහ-ගුරාට එහෙම නැතිනම් ඔබ කවුරුත් සයිබර් අවකාශයේදී හදුනන දිනේෂ් සොහොයුරාට කාලයක් හැදිලා/වැලදිලා තිබුණා. (මෙහිදී උස අනුපිලිවෙලට සැකසුන එකිනෙකට වෙනස් කදුවැටි ලයිස්තු කිහිපයක් හමුවීමෙන් අළුත් ගැටළු ගනණාවක් පසුව මතුවුණා.) කොහොම හරි ලංකාවේ උසින් 9 වන ස්ථානය දරපු  One tree hill කියන කදුමුදුණ නුවරඑලිය ආසන්නව පිහිටා ඇතිබව හොයාගන්න 1:50,000 මීටර සිතියම මත පැය ගනනාවක් ගතකරන්නට ඒ වෙනකොට අපට සිදුවී තිබුණා. විශේෂ වරප්‍රසාදයක් මත පිදුරුතලාගල තරණය කරන්න දිනේෂ් ලබාගත් අවස්ථාවට පිංසිද්ධ වෙන්න කලින් දවසේ ලංකාවේ උසම කදුමුදුනට පයගහපු අප, චාරිකාවේ දෙවන දිනයේදී වන්-ට්‍රී-හිල් තරණයට මේවිදිහට එක්වුනා.

 

 (පිදුරුතලාගල ගැන චාරිකා සටහන් ලියලා වැඩක් නැහැ. ඒක අර සද නැති රැයක් ගැන පොඩිඑකක් ඇදපු සිතුවම වගෙයි. ඇයි කැමරා-ජංගම දුරකථන මොකුත් ගෙනියන්න දුන්නේ නැහැනේ)

 



පිදුරුතලාගල තරණය

 

පිදුරුතලාගල තරණය

 

 

 

පිදුරුතලාගල සන්නිවේදන ඇන්ටනා සමූහය (Zoomed)

 

අපේ ගමන පටන්ගන්තේ නුවර එලියෙන්. නුවර එලිය බදුල්ල මාර්ගයේ කිලෝමීටරයකට අඩුදුරකදී, පැරණි අශ්ව ධාවන පථය ඉදිරියෙන් ( ග්‍රෙගරි වැව ආසන්නයේ ) පිහිටි වන්-ට්‍රී-හිල් කියන නාමපුවරුව සහිත පටුමාර්ගයට  අප ගමන්ගත් ජීප්රථ යුගල හරවනු ලැබුවා. ඉතා කෙටි දුරකදීම තේ වගාවකට ඇතුළු වූ මාර්ගය ක්‍රමක්‍රමයෙන් සිය ආනතිය වැඩිකරගනු ලැබූවා. වැලමිටි වංගු දිගහරිමින් ඉහලට යන්නට යන්නට අවට දර්ශනය අපව අමන්දානන්දයට පත්කල බවනම් නොකියාම බැහැ. අපේ වාසනාවට එදා නුවරඑලියට ඉතාම පැහැදිලි දවසක්. පිදුරුතලාගල සිට රාගල කදු හරහා හක්ගල කදුවැටිය දක්වා 180o කඉතා පැහැදිලි දර්ශන පථයක් අත්විදින්නට මේ කදුවැටියේ උතුරු බෑවුම තරණය කිරීමේදී අපට අවස්ථාව සැලසුනා. එයට නුවරඑලිය නගරයත්, ලවර්ස් ලීප් ඇතුළු නුවර එලිය ආශ්‍රිත දියඇලි කිහිපයකුත් ඇතුලත් වූබව මෙහිදී සටහන්කල යුතුමයි.

වන්-ට්‍රී-හිල්...... ෂඃ බොහොම පොඩි කන්දක් නොවැ

 

මාර්ගය ක්‍රමක්‍රමයෙන් සිය ආනතිය වැඩිකරගනු ලැබූවා

 

ලවර්ස් ලීප් දියඇල්ල බොහෝ දුරින්

 

ඉදිවෙමින් පවතින වන්-ට්‍රී-හිල් විහාරස්ථානය

 

එදා නුවරඑලියට ඉතාම පැහැදිලි දවසක්

 

ගිරිගෝරිස් රජ්ජුරුවෝ හැදුවාය කියන වැව

 

ඹබේ දකුණු පසින් මිහිදුම් සළු මැදින් දිස්වන්නේ හක්ගල කදුවැටියයි

 

වට වංගු දිගහරිමින් ඉහලට නැගි සද....

 

කන්දේ ඉහල කොටසේදී අප ගමන්ගත් මාර්ගය එහි දකුණු බෑවුම කරා ගමන්කල බැවින් නුවරඑලිය නගරය අපේ දර්ශන පථයෙන් ඉවත්වුවද තවත් වටිනා දර්ශන පෙලක් අපවෙත තිලිණ කලා. එනම් සීතල කිකිලියාමාන කන්දෙන් ආරමිභවී. රදැල්ල, සප්තකන්‍යා, සමනොල, කොනිකල් හිල්, හෝර්ටන් තැන්න හරහා හක්ගල කදුවැටිය දක්වා නැවත 175oක පමණ වූ දර්ශන පථයක් අත්විදින්නට අපට අවස්ථාව සැලසුනා.

කරුණාවයි.... කරුණාවයි......

 

 


සප්ත කන්‍යා .....

 

 

 

 

ඔන්න අපේ ගුර‍ාල‍ා සෙට්එක

 

දේශීය සංචාරකයෝ මෙම ස්ථානය ගැන නොදන්නවා වුනාට සැතපුම් දහස්ගනනක් දුර ගෙවාගෙන අපේ සුන්දර දිවයින බලන්න එන යුරෝපීය සංචාරකයන් මේ කදුමුදුනට පාගමනින් එනවා. සමහර විට ඔවුන්සතු සංචාරක අත්පොතෙහි මේ ගැන සටහනක් ඇති.

යුරෝපීය සංචාරකයන්

 

ඒත් නුවරඑලිය ආශ්‍රිත බොහෝ සුන්දර කදුමුදුන් වලට අත්වීඇති ශෝකනීය තත්වයෙන් ගැලවෙන්නට නම් වන්-ට්‍රී-හිල් මුදුනටත් හැකිවෙලා නැහැ. එනම් මේ මුදුනත් සංනිවේදන කුළුණු සමුහයක් විසින් සම්පුර්ණයෙන්ම වාගේ අත්පත්කරගෙන තිබුණා. නමුත්  දුරකථන සමාගම් වල අණසක ඉතා කුඩා වපසරියකට පමණක් සීමාවන බැවින් සාමාන්‍ය මහජනතාවට මෙතැනට පැමිණෙන්නට තහනමක් ඇත්තේ නැහැ. ඒත් කන්දේ උසම ස්ථානය (Summit) මීටර කිහිපයක් දුරසිට නිරීක්ෂණය කරනවා හැරෙන්නට එහි ලගාවන්නට නම් ඔබට අවස්ථාව නැහැ.

මේ මුදුනත් සංනිවේදන කුළුණු සමුහයක් විසින් අත්පත්කරගෙන තිබුණා

 

උසම ස්ථානය (Summit)

 

GPS Readings

 

කොහොම නමුත් මෙම කදුවැටිය ඉහල කොටසේදී 355oක පමණ දර්ශන පථයක් අත්විදින්නට ඔබට අතිදුර්ලභ අවස්ථාවක් උදාකර දෙනු ලබනවා. ඒනිසාම මේ කදුවැටිය  පාගමනින් තරණය කලාට ඔබේ ශ්‍රමය අපතේ නොයන බවනම් ඉතාම පැහැදිලියි. ඇරත් නුවරඑලියේ නිසා ලොකු මහන්සියක් දැනෙන එකකුත් නැහැ. ඒනිසා ඔබේ මීලග නුවරඑලිය සංචාරයේදී මෙම ස්ථානය දැකබලාගෙන, නඩේ ගුරාටත් කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ....!

ප.ලි.   නුවරඑලියේසිට ආපහු එනගමනේදි ඔය ඇපල්, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරි ආදිය තෑගිවිදිහට අපට ගේන්න කරදර වෙන්න එපා.

 

 

 

 

 

 

 

 


මන්දාරම් නුවර හුදකලාවූ සුන්දර යුවතිය

 

අවුරුද්ද & මාසය

 2010 

දින ගණන (# days)

 03 (තුන්වන / අවසන් දිනය)

පුද්ගලයන් (Crew)

 09

නවාතැන් (Accommodation)

ස්වදේශ කටයුතු සංචාරක බංගලාව - නුවරඑළිය

ප්රවාහන (Transport)

 ජිප් රථ 2

 

 

කාලගුණය (Weather)

 හවස වැස්ස

මාර්ගය (Route)

නුවරඑළිය -> කඳපොල (B39) -> බෘක්සයිඩ් ->හයිෆොරෙස්ට් ->ගොනපිටිය ->මන්දාරම් නුවර

ආපසු : මන්දාරම් නුවර -> පදියපැලැල්ල -> රිකිල්ලගස්කඩ -> හඟුරන්කෙත -> මහනුවර -> කොළඹ / වේයන්ගොඩ 

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්  

(Tips, Notes and Special remarks)

 

  1. කුඩෙල්ලන්  ගෙන් බේරීම සදහා සාධාරණ උපක්‍රම අනුගමනය කර තිබීම වැදගත්
  2. දියඇලි ආශ්‍රිතව ඇති ගල්කුළු ලිස්සන සුළු බැවින් ඒවා  මත ගමන් කිරීමේදී පරිස්සම් වීම වැදගත්
  3. බිමට ජලය  රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්.
  4. ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු  රැගෙන

 

 Author

 Viraj




වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය

ලමුල්ල විදුලි බලාගාරයට දිවෙන අතුරු පාරෙන් මන්දාරම් නුවර - පදියපැලැල්ල ප්රධාන මාර්ගයට පැමිණි  ජීප් රථ යුගල  පදියපැලැල්ල දෙසට ධාවනය ඇරඹුවා. ජීවිතේ පළමුවරට පයගහපු මේ සොඳුරු  අඩවියේ සොබා සුන්දරත්වයෙන් මුසපත්ව හිටපු අපට නිමල් අය්යා මීට හෝරා කිහිපයකට කලින් තවත් ලස්සන දිය ඇල්ලක් ගැන කියපු මඟ  විස්තරය  මතක නැතිවුන එක මහ අරුමයක්  උනේ නැහැ. මේ පළාත දිය ඇලි වලින් කොච්චර පොහොසත්ද කිව්වොත්; මඟ විස්තරය අහපු හැම වෙලාවේම අප යාමට බලාපොරොත්තු වන දිය ඇල්ල හරියටම තෝරලා දෙන්න ගම්වැසියන්ට සෑහෙන පරිශ්රමයක් දරන්න සිද්ද උනා.

 

මන්දාරම් නුවර

 

අමිලගේ ජීප් රථය

 

අතුරු පාරෙන් මන්දාරම් නුවර - පදියපැලැල්ල ප්රධාන මාර්ගයට

 

සුන්දර කඳු නිම්නය ඔස්සේ නාගයෙකු  වගේ දඟර ගැහෙමින් දිවෙන තාරපාර දිගේ වංගු කිහිපයක් කෙලින් කරපු වාහන යුගල ගම්වැසියන්ගේ තොරතුරු ප්රකාරව පුංචි පාලමක් අසලින් නතර උනේ ඇතුලේ උන්න පිරිසට බිමට බහින්න ඉඟි කරමින්. වාහන වලින් බහින අයව පිළිගන්න හිටපු බඩගිනි කුඩලු හමුදාවෙහි  බලාපොරොත්තු කඩකරමින් කට්ටිය හනි හනිකට තාර පාර මැද්දට පැනගත්තත් එතනින් එහාට තිබ්බ තෙත බරිත කැලේරොද සටනෙහි වාසිය  කුඩල්ලන්ට අත්කර දුන්නා.

 

සුන්දර කඳු නිම්නය

 

ප්රධාන මාර්ගයේ ඉඳන් මීටර 75 ක් විතර දුරින් පිහිටලා තිබුනත් පාලම ලඟට දිය ඇල්ලක් ළඟ තියෙන බවට කිසිදු සලකුණක් තිබ්බේ නැහැ.  ඒ නිසා තරමක තෙහෙට්ටුවෙන් හිටපු නඩේ අනෙක් අයව  තවදුරටත් මහන්සි කරන්නේ නැතිව දර්ශනත් මමත් දිය කඳුර දිගේ ඉහලට ගිහින් විපරම් කරන්න තීරණය කලා. වඩා පටු තැනකින්   ලෙස්සන සුළු ගල් මතුපිටින් දිය කඳුර තරණයකළ දර්ශන ඊළඟ මොහොතේදී  ඔබ අප  අතුරින් පළමුවෙන්ම මේ සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා.

දර්ශන පළමුවෙන්ම මේ සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා

 

දර්ශනගේ කැඳවීමෙන් පසු පිරිසක් දිය කඳුර ඔස්සේත් තවත් පිරිසක් කුඩල්ලන් සමග සටන් කරමින් ගං ඉවුර ඔස්සේත් දිය ඇල්ල වෙත ළඟා උනා. මීටර 30 කට නොඅඩු  උසින් යුතු මේ සුන්දර ලාලනිය; දුන්හිඳ විලසින් තනි පිම්මකින් පාදම පිහිටි තටාකය වෙත  තමන්ගේ සුහුල් සළු  උනාදමමින්; තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන දොළ සපුරනු  ලැබුවා. පිළිවෙල එහෙම උනත්  පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතියගේ රුවින් මන් මත්වී සිටි දර්ශන නැවත පියවි සිහියට පත්වන විට ලිස්සන සුළු ගල්කුලක් මතින් දියමතට පතිතව හිටියා.

මේ සුන්දර දිය ඇල්ල; දුන්හිඳ විලසින් තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන දොළ සපුරනු  ලැබුවා


දොන් පතන් වෙච්ච දර්ශනගේ වාසනාවකට අතේ පයේ තුවාල කිසිවක් ඇතිවෙලා තිබ්බේ නැහැ. ඒත් හිතේ ලොකු තුවාලයක් ඇතිවුණා . මොකද කැමරා දෙකක් එක්ක සෙලියුලර් දුරකතනයත් කාලෙකින් නාලා.

මෙහෙම අත්දැකීමකට  මේ වගේ පරිසර සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අවස්ථාවකදී  වහා ගතයුතු පියවර ගැන, ප්‍රථමාධාර ගැන දැනගෙන ඉන්න ඕන.

ජලයට වැටුන ඉලක්ට්‍රොනික උපකරණය වහාම ක්‍රියා විරහිත කරලා බැටරිය සහ මෙමරි කාඩ් ගලවා ඉවත් කිරීමත් පවනේ වියලෙන්නට හැරීමත් ක්ෂේත්‍රයේදී කරන්න පුලුවන් දේවල්. බාබර් සාප්පුවකින් Hair Dryer එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මීළඟට සුදුසු සේවා ආයතනයකට යවා අදාල උපකරණය සේවා කරගැනීම තමයි වඩාත්ම සුදුසු. තරමක අවදානමක් ගන්න කැමති අයට එසේ  සේවා කරගන්නේ නැතිව Desiccator  එකක් පාවිච්චි කරලා උපකරණය වියලා ගන්නත් පුළුවන්. සිදුරු කිහිපයක් විදගත්ත ලොකු මාරි පෙට්ටියකට  60W විතර බලුබ් එකක් දමලා රැයක් පුරා තියන එකත් විකල්ප ක්‍රමයක්කොහොම උනත් මේ කටයුතු සියල්ල අවසන් වෙන තුරු උපකරණය ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි ඉතාම වැදගත් කාරණය. මොකද උපකරණය වැඩකරනවාද කියල තමන් විසින්ම පරික්ෂා කරලා බැලීමේ මෝඩ සිතුවිල්ල දමනය කරගැනීමේ හැකියාව මත  ඔබේ උපකරණයේ ආයුෂ රඳා පවතින බව සිහි තබාගැනීම වැදගත්.

 

පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය


Oolu falls, Yatiyanthota - Few hours in a drizzle of Olu –petals

  Few hours in a drizzle of Olu –petals   Year and Month December , 2009 Number of Days One...